ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල ලකුණු පුවරුවේ ඉහලටම.

පකිස්තාන සුපර් ලීග් තරගාවලිය පුරාම තමන්ගේ දක්ෂතා දිගින් දිගටම දැක්වීමට සමත් වී සිටින ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල අපරාජිතව තමන්ගේ පස්වන තරගය ජය ගැනීමට ඊයේ සමත් වුනා. මේ තරගයේදී ඔවුන් පරාජයට පත් කලේ මුල්තාන් සුල්තාන්ස් පිලයි. ඔවුන් මුල්තාන් පිල ඉතා පහසුවෙන් පරාජය කිරීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා.

මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කල මුල්තාන් පිල පලමු ඕවර හය තුලදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 48 ක් රැස් කර ගැනීමට සමත් වුනා. නමුත් ඉන්පසුව ක්‍රියාත්මක වුන ඉස්ලාමාබාද් පිලේ දග පන්දු යවන්නන් මුල්තාන් පිලේ පිතිකරුවන්ට හොද අභියෝගයක් ලබා දුන්නා.

මොහොමඩ් නවාස් ගේ පන්දුවකට මුලින්ම යසීර් ඛාන් දැවී ගියත් උස්මාන් ඛාන් ඉතා වේගවත් පිතිකරණයක යෙදෙමින් පන්දු 29 ක් තුලදී ලකුණු 50 ක් වාර්තා කරගත්තා. නායක මොහොමඩ් රිස්වාන් ලකුණු 36 ක් ලබා ගත් අතර අනෙකුත් කිසිදු පිතිකරුවෙක් මුල්තාන් පිල වෙනුවෙන් සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ නැහැ. උස්මාන් ඛාන්ගේ දැවී යාමත් සමග ඔවුන්ගේ ඉනිම නිමා වූ අතර ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වුනේ කඩුළු පහක් දැවී ලකුණු 168 ක් ලෙසයි.

ලකුණු 169 ක ඉලක්කයක් වෙනුවෙන් ඉන්පසුව පිටියට පැමිණි ඉස්ලාමාබාද් පිලේ ඇන්ඩෲස් ගවුස් සහ කොලින් මුන්රෝ පලමු පන්දු 48 සදහා ලකුණු 81 ක් ලබා ගත් අතර එහිදී මුන්රෝ සහ ඉෆ්තිකාර් අහම්ඩ් අතර පන්දු යැවීමේ ඉරියව් පිලිබදව උණුසුම් තත්වයක්ද ඇති වුණා.

කෙසේ වෙතත් මුන්රෝ ලකුණු 45 කට දැවී ගිය අතර ගවුස්, නවාස් සමග එකතු වී ලකුණු 55 ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේදී මුල්තාන් පිලේ ජොෂ් ලිට්ල් එකදු විකට්ටුවක් හෝ ලබා නොගත් අතර උසාමා මිර් තමන්ගේ ඕවර් හතර තුලදී ලකුණු 41 ක් ඉස්ලාමාබාද් පිලට ලබා දුන්නා. පලපුරුදු ක්‍රීඩකයෙක් වූ ක්‍රිස් ජෝර්දාන් පවා තමන්ගේ ඔවර දෙක තුලදී අනෙක් පිලට ලකුණු 24 ක් ලබා දී තිබුණා.

ඒ අනුව ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල ඕවර 18.3ක් තුලදී කඩුළු 3 ක් පමණක් දැවී තරගය ජයගත්තා. ඒ සමගින් ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල ලකුණු පුවරුවේ ඉහලම ස්ථානය දක්වා ගමන් කල අතර මුල්තාන් සුල්තාන්ස් පිල ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *